නිදහස්, සාමකාමී රටක් වෙනුවෙන් සියලු ජනතාව අතර භාෂා දැනුම ප්‍රවර්ධනය විය යුතුයි – ජනපති

(UTV| කොළඹ) – රටේ සියලු ජන කොටස් අතර විශ්වාසය, සහයෝගය සහ අන්‍යෝන්‍ය අවබෝධය ගොඩනැංවීමට අවශ්‍ය ප්‍රධාන සාධකය භාෂා දැනුම බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (01) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති රාජ්‍ය භාෂා දින උත්සවය අමතමිනි.

රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ඵලදායීව ක්‍රියාත්මක කිරීමේ අරමුණින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ සතියක් අද සිට ජූලි 05 වනදා දක්වා ක්‍රියාත්මක අතර එහි සමාරම්භක අවස්ථාව මෙහිදී සනිටුහන් කෙරිණි. ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය වැඩසටහන මෙහෙයවයි.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ අද සියලු දෙනා අතර සංවාදයට ලක්ව තිබෙන සංහිඳියාව යථාර්ථයක් කර ගැනීමට නම් එම වැඩසටහන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය යුතු බවයි.

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය කෙරෙහි ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ නිසි අවධානයක් තවමත් යොමු නොවීම හේතුවෙන් මතුව ඇති තත්ත්වය ද මෙහි දී පැහැදිලි කළ ජනාධිපතිතුමා කියා සිටියේ තමන්ගේ භාෂාවට ගෞරවයක් ලබා දෙනවා සේ ම අනෙක් භාෂා පිළිබඳව ද සියලුදෙනා දැනුවත්වී සිටීම ඉතා වැදගත් බවයි.

එමෙන්ම ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ රටේ ජීවත්වන ජනතාව අතර බිය සැක සහ අවිශ්වාසය ගොඩනැගී ඇත්තේ එකිනෙකා හඳුනා නොගැනීමෙන් බවයි. එබැවින් සියලු ජනතාව සතුටින් ජීවත්වන සාමකාමි සහ නිදහස් රටක් ගොඩනැගීමට දරුවන් සහ පොදු ජනතාව අතර භාෂා දැනුම ප්‍රවර්ධනයට විශේෂ අවධානයක් යොමු විය යුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් දායකත්වය ලබාදෙන භාෂා විගණන වාර්තාව ඉදිරිපත් කිරීම සහ ත්‍රෛභාෂාවට පරිවර්තනය වූ පෝරම් වෙබ් අඩවිය මඟින් ප්‍රකාශයට පත් කිරීම ද මෙහිදී සිදු විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *